Saturday 23rd of May 2026

English Tamil
Advertiesment


කැනඩා මහා කොමසාරිස්වරිය හමු වී විපක්ෂ නායක කළ කතා එළියට  


2026-05-23 1275

 

ශ්‍රී ලංකා කැනඩා සහයෝගීතාව තවත් වර්ධනය කරමින් ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කැනඩා මහකොමසාරිස්වරිය කොළඹ දී හමු විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනඩා මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කරන ඉසබෙල් මාටින් මහත්මිය අතර සුවිශේෂ හමුවක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.

මේ ද්විපාර්ශ්වීය හමුව අතරතුර දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මහකොමසාරිස් ඉසබෙල් මාටින් මහත්මිය විසින් ශ්‍රී ලංකාව මුහුණ දෙන සාර්ව ආර්ථික අභියෝග සම්බන්ධයෙන් සහ දිට්වා සුළි කුණාටුව නිසා සිදුවූ විනාශයෙන් පසු රටට බලපෑ සමාජ ආර්ථික අභියෝග සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.

ශ්‍රී ලංකාවේ මේ වන විට බලපෑමට ලක් වූ සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා ක්ෂණික සහන, ප්‍රතිසංස්කරණ සහ ජීවනෝපාය ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රමුඛත්වය දිය යුතු බවත් රටක් ලෙස නැවත නැගී සිටීමටත් හානි වූ දේපල යථාතත්ත්වයට ගැනීමටත් ගෝලීය වශයෙන් ආධාර ලැබිය යුතු බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත මෑත කාලයේ ඔහු සිදු කළ ඉල්ලීම් සම්බන්ධයෙන් ද මෙහි දී නැවත අවධාරණය කළේය. 

එසේම කැනඩාවේ ශක්තිමත් දේශගුණික, මූල්‍ය සහ සංවර්ධන පියවර සම්බන්ධයෙන් අදහස් පළ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දේශගුණික සුහුරු කෘෂිකර්මාන්තය (climate-smart agriculture) ශක්තිමත් කිරීම, තිරසාර ඉඩම් පරිභෝජනය සහ ජල පෝෂක කළමනාකරණය වැඩිදියුණු කිරීම සහ ශ්‍රී ලංකාවේ දැඩි අවදානමට ලක්විය හැකි වියළි කලාපය පුරා සිටින කාන්තා ගොවීන් බලගැන්වීම අරමුණු කරගත් කැනේඩියානු ඩොලර් මිලියන 5 ක ව්‍යාපෘතිය වන "ඇක්සස් ශ්‍රී ලංකා" ව්‍යාපෘතිය අගය කළේය.

තවද  ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, මානව හිමිකම් සහ කල් පවතින ජනවාර්ගික සංහිඳියාව සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු කර ගත් අතර මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පළාත් සභා මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ අනිවාර්ය අංගයක් ලෙස පවතින බව සඳහන් කරමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා තම ස්ථිර දේශපාලන කැපවීම නැවත වරක් තහවුරු කළේය.

Advertiesment